2026
වාර්ෂික පර්යේෂණ සම්භාෂණය-2026
සිංහල අධ්‍යයනාංශය, කොළඹ විශ්වවිද්‍යාලය
විස්තෘත සාරසංක්ෂේප කැඳවීම
කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යයනාංශය විසින් සංවිධානය කෙරෙන වාර්ෂික පර්යේෂණ සම්භාෂණය 2026 අගෝස්තු 06 වන දින කොළඹ විශ්වවිද්‍යාලයේ දී පැවැත්වේ. මෙවර පර්යේෂණ සම්භාෂණයෙහි තේමාව “සිංහල භාෂා, සාහිත්‍ය හා සංස්කෘතික උරුමය: ආභාසය හා අනන්‍යතාව” යි. මේ පර්යේෂණ සම්භාෂණයේ දී පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට අපේක්ෂිත විශ්වවිද්‍යාලය ආචාර්යවරුන්ට/ ආචාර්යවරියන්ට, ප්‍රථම/ පශ්චාද් උපාධි අපේක්ෂක-අපේක්ෂිකාවන්ට, විශ්වවිද්‍යාලය සහ වෙනත් පර්යේෂණ ආයතනවලට සම්බන්ධ පර්යේෂක-පර්යේෂිකාවන්ට සහ ස්වාධීන පර්යේෂක-පර්යේෂිකාවන්ට පහත සඳහන් මාර්ගෝපදේශවලට අනුව සකස් කරන ලද තම පර්යේෂණවලට අදාළ විස්තෘත සාරසංක්ෂේප පත්‍රිකාවල MS Word සහ PDF පිටපත් 2026 ජූනි 06 වන දා හෝ ඊට පෙර sss2026@sinh.cmb.ac.lk යන ඉ-තැපැල් ලිපිනය වෙත යොමු කරන මෙන් ආරාධනා කර සිටිමු.
සුවිශේෂ දින
* සාරසංක්ෂේප භාර ගන්නා අවසාන දිනය – 2026 ජූනි 06
* සාරසංක්ෂේප පිළිබඳ තීරණ දැනුම් දෙන දිනය – 2026 ජුනි 26
* සංශෝධිත සාරසංක්ෂේප භාර ගන්නා අවසාන දිනය – 2026 ජූලි 10
* ඉදිරිපත් කිරීම්වලට අදාළ ශ්‍රව්‍ය-දෘශ්‍ය මෘදු පිටපත් භාර ගැනීම – 2026 ජූලි 26
* පර්යේෂණ සම්භාෂණයේ සැසි පැවැත්වෙන දිනය – 2026 අගෝස්තු 06
විස්තෘත සාරසංක්ෂේප සඳහා මාර්ගෝපදේශ
* ඔබේ විස්තෘත සාරසංක්ෂේප මෙතෙක් අප්‍රකාශිත, ප්‍රකාශනය සඳහා විමර්ශනයට යොමු නොකරන ලද, නව්‍ය, ස්වාධීන සහ අවසන් කරන ලද පර්යේෂණයක් මත පදනම් විය යුතු ය.
* ඔබ ඉදිරිපත් කරන විස්තෘත සාරසංක්ෂේප පර්යේෂණ සම්භාෂණයෙහි තේමාව වන “සිංහල භාෂා, සාහිත්‍ය හා සංස්කෘතික උරුමය: ආභාසය හා අනන්‍යතාව” යන්නට අනුගත විය යුතු අතර පහත සඳහන් විෂය ක්ෂේත්‍ර අතුරින් එකකට අයත් විය යුතු ය:
- සිංහල භාෂාව, ව්‍යාකරණය හා වාග්විද්‍යාව
- සම්භාව්‍ය සිංහල සාහිත්‍යය හා සිංහල සාහිත්‍ය විචාරය
- නූතන සිංහල සාහිත්‍යය හා සිංහල සාහිත්‍ය විචාරය
- සිංහල සංස්කෘතිය හා කලා ශිල්ප
* එක් පර්යේෂකයකුට/පර්යේෂිකාවකට නොහොත් කණ්ඩායමකට ඉදිරිපත් කළ හැකි උපරිම විස්තෘත සාරසංක්ෂේප සංඛ්‍යාව දෙකකි.
* සම්පූර්ණ විස්තෘත සාරසංක්ෂේපය වචන 1500ට නොවැඩි විය යුතු ය (මේ වචන සංඛ්‍යාවට ආශ්‍රිත මූලාශ්‍රයාවලිය ඇතුළත් නො වේ).
* සිංහල භාෂාවෙන් හෝ ඉංග්‍රීසි භාෂාවෙන් සාරසංක්ෂේප ඉදිරිපත් කළ හැකි ය.
* අකුරු මෝස්තර:
සිංහල: iskoola pota
ඉංග්‍රීසි: Times New Roman
* අකුරුවල ප්‍රමාණය:
සිංහල: ප්‍රධාන මාතෘකාව – 15; අනුමාතෘකා – 13; අන්තර්ගතය – 11
ඉංග්‍රීසි: ප්‍රධාන මාතෘකාව – 16; අනුමාතෘකා – 14; අන්තර්ගතය – 12
* පේළි අතර පරතරය: 1.5
* ඔබේ විස්තෘත සාරසංක්ෂේප අක්ෂර වින්‍යාස, පද බෙදීම, විරාම ලක්ෂණ භාවිතය යන ලේඛන සම්ප්‍රදාය පිළිබඳ දෝෂවලින් හා පද වින්‍යාසය, වාක්‍ය වින්‍යාසය යන ව්‍යාකරණය පිළිබඳ දෝෂවලින් තොර විය යුතු ය.
* සමස්ත විස්තෘත සාරසංක්ෂේපය තුළ පද බෙදීම සඳහා එක් සම්මතයක් අනුගමනය කළ යුතු ය.
* ඔබේ විස්තෘත සාරසංක්ෂේපය සඳහා පහත දැක්වෙන ආකෘතිය අනුගමනය කළ යුතු ය:
- මාතෘකාව
* විස්තෘත සාරසංක්ෂේපයෙහි මාතෘකාව සංක්ෂිප්ත හා පැහැදිලි විය යුතු අතර අධ්‍යයනයෙහි අන්තර්ගතය එමඟින් නිවැරදි ව නිරූපණය විය යුතු ය.
- පර්යේෂකයන්ගේ නම්, ආයතනික සබඳතා සහ විද්‍යුත් ලිපින
- වචන 275-300 අතර වන කෙටි සාරසංක්ෂේපය
කෙටි සාරසංක්ෂේපයක් යනු කිසියම් පර්යේෂණයක් පිළිබඳ සංක්ෂිප්ත නමුත් පරිපූර්ණ සාරාංශයකි. පූර්ණ පර්යේෂණ පත්‍රිකාවක හෝ විස්තෘත සාරසංක්ෂේපයක මාතෘකාවෙන් අනතුරු ව විමර්ශකයන්ගේ නොහොත් පාඨකයන්ගේ අවධානය දිනා ගන්නා අංගය වන්නේ කෙටි සාරසංක්ෂේපයයි. ඒ අනුව පර්යේෂණ පත්‍රිකාවෙහි හෝ විස්තෘත සාරසංක්ෂේපයෙහි අන්තර්ගතයේ ගුණාත්මක බව පිළිබඳ ව විමර්ශකයකු නොහොත් පාඨකයකු මුල් වරට වඩා පැහැදිලි තක්සේරුවක් සිදු කරන්නේ කෙටි සාරසංක්ෂේපය ඇසුරිනි.
සාමාන්‍යයෙන් කෙටි සාරසංක්ෂේපයක වචන සංඛ්‍යාව 150 සිට 300 දක්වා පරාසයක විහිදෙයි. කෙසේ වුව ද, සාරසංක්ෂේපය ඉදිරිපත් කරන පර්යේෂණ සම්භාෂණය මගින් හෝ ශාස්ත්‍රීය සංග්‍රහය මගින් සිදු කර ඇති නිර්දේශ මත පදනම් ව වචන සංඛ්‍යාව පිළිබඳ තීරණය කිරීමට සිදු වේ. ඒ් අනුව මෙහි දී අනුගමනය කළ යුතු නිර්දේශය වන්නේ වචන 275-300 අතර සංඛ්‍යාවක් යන්නයි.
කෙටි සාරසංක්ෂේපයක් රචනා කරන්නේ අනුච්ඡේදනය (indent/ඇතුළට නොපන්වන ලද) නොකරන ලද තනි ඡේදයක් ලෙසයි. එ් තුළ අනුමාතෘකා වෙන් කිරීමක් සිදු නොකෙරෙන අතර වගු, ප්‍රස්තාර සහ රූප සටහන් යනාදිය ද අන්තර්ගත නො කෙරෙයි. එසේ ම පෙළ තුළ මූලාශ්‍රය සටහන් කිරීම හෝ කෙටි සාරසංක්ෂේපය අවසානයේ දී ආශ්‍රිත මූලාශ්‍රය නාමාවලියක් ඉදිරිපත් කිරීම ද කෙටි සාරසංක්ෂේප රචනයේ දී සිදු නො කෙරෙයි.
කෙටි සාරසංක්ෂේපයක් ආරම්භයේ දී පර්යේෂකයා/පර්යේෂිකාව සිය පර්යේෂණය පිළිබඳ සංක්ෂිප්ත හැඳින්වීමක් සිදු කළ යුතු අතර මේ හැඳින්වීමේ දී පර්යේෂණ හිඩැස, පර්යේෂණයේ අරමුණ / අරමුණු හා පර්යේෂණ ගැටලුව (ගැටලුවක් නොමැති ව අභ්‍යුපගමනයක් ඇති නම් එය) කෙටියෙන් නමුත් පැහැදිලි ව සඳහන් කළ යුතු ය. සම්පූර්ණ සාරසංක්ෂේපයක වචන සංඛ්‍යාවෙන් 20%ක් පමණ මේ සඳහා වැය කළ හැකියි.
පර්යේෂණය හඳුන්වා දීමෙන් අනතුරු ව ඒ සඳහා භාවිත කළ පර්යේෂණ විධික්‍රම පිළිබඳ ව සහ පර්යේෂණයේ න්‍යායික පසුබිම පිළිබඳ ව සැකෙවින් සඳහන් කිරීම සුභාවිතයි. මෙහි දී පර්යේෂණ සැලැස්ම, දත්ත රැස් කිරීමේ හා විශ්ලේෂණය කිරීමේ විධික්‍රම/ය, න්‍යායික පසුබිම සහ එ් විධික්‍රම හා න්‍යායික පසුබිම අධ්‍යයනය සඳහා තෝරා ගැනීමට බලපෑ සුවිශේෂ හේතු/ව පැහැදිලි ව සඳහන් කිරීම වැදගත් වෙයි. ඇතැම් පර්යේෂක-පර්යේෂිකාවෝ සිය අධ්‍යයනයෙහි නියැදිය, නියැදිකරණ විධික්‍රමය සහ එ් තෝරා ගැනීම් කෙරෙහි බලපෑ හේතු/ව ද මෙහි දී සැකෙවින් සඳහන් කරති. සම්පූර්ණ සාරසංක්ෂේපයක වචන සංඛ්‍යාවෙන් 30%ක් පමණ මේ සඳහා වැය කළ හැකියි.
කෙටි සාරසංක්ෂේපයක වචන සංඛ්‍යාවෙන් වැඩි ම ප්‍රතිශතයක් (එනම් 40%ක් පමණ) වෙන් කෙරෙන්නේ පර්යේෂණ ප්‍රතිඵල උදෙසායි. මෙහි දී අධ්‍යයනයෙහි ප්‍රතිඵල පිළිබඳ දීර්ඝ සාකච්ඡාවක් සිදු නොකෙරෙන නමුත් ප්‍රධාන අධ්‍යයන ප්‍රතිඵල පැහැදිලි ව සඳහන් කිරීම වැදගත් වෙයි.
කෙටි සාරසංක්ෂේපය අවසානයේ දී අධ්‍යයනය මත පදනම් ව එළඹුණු නිගමන/ය සහ අධ්‍යයනය ඇසුරින් ඉදිරිපත් කෙරෙන යෝජනා සැකෙවින් සඳහන් කිරීම වඩා යෝග්‍ය වෙයි. සාරසංක්ෂේපයේ සමස්ත වචන සංඛ්‍යාවෙන් 10%ක් පමණ මේ සඳහා වැය කළ හැකියි.
සාරසංක්ෂේපය ලියන්නේ කිසියම් පර්යේෂණයක් සිදු කොට අවසන් වූ පසු හෙයින් සාරසංක්ෂේපය අතීත කාලයෙන් ලිවිය යුතු අතර හැඳින්වීමේ දී සහ නිගමනවල දී යෝග්‍ය පරිදි වර්තමාන කාලය සහ අනාගත කාලය භාවිත කළ හැකි ය.
- ප්‍රමුඛ පද 5ක්
ප්‍රමුඛ පද යනු තමාගේ පර්යේෂණයේ සාකච්ඡා කෙරෙන අන්තර්ගතය ඉඟි කෙරෙන පදයි. කවර කරුණු සොයන විද්වතුන් මෙය කියවීම සුදුසු ද යන්න ඒ් ප්‍රමුඛ පදවලින් කියැවෙයි. ඒ් හෙයින් මෙහි දී තමාගේ පර්යේෂණයේ අන්තර්ගතය කියැවෙන ප්‍රමුඛ පද පහක් අකාරාදි පිළිවෙළට දැක්විය යුතු ය.
- හැඳින්වීම
* මෙය ඔබේ පර්යේෂණ පසුබිම හා පර්යේෂණ හිඩැස, පර්යේෂණ අරමුණ / අරමුණු, පර්යේෂණ ගැටලුව / අභ්‍යුපගමනය, පර්යේෂණ ප්‍රශ්න සහ පර්යේෂණ සම්භාෂණයෙහි තේමාවට ඔබේ අධ්‍යයනයෙහි ඇති අදාළතාව යන කරුණු ඇතුළත් වන සේ දක්වන්න.
- පර්යේෂණ විධික්‍රම සහ න්‍යායික පසුබිම
* මෙය පර්යේෂණ සැලැස්ම, අධ්‍යයන ක්ෂේත්‍රය, නියැදිය සහ නියැදිකරණ විධික්‍රමය, දත්ත රැස් කිරීමේ විධික්‍රම/ය, දත්ත විශ්ලේෂණය කිරීමේ විධික්‍රම/ය, අධ්‍යයනයෙහි න්‍යායික පසුබිම හා ඒ එක් එක් තෝරා ගැනීම සඳහා හේතු/ව යන කරුණු ඇතුළත් වන සේ දක්වන්න.
- ප්‍රතිඵල හා සාකච්ඡාව
* ඔබේ අධ්‍යයනයෙහි ප්‍රධාන ප්‍රතිඵල හා ඒ ඇසුරින් සිදු කෙරෙන සංක්ෂිප්ත සාකච්ඡාවක් මීට ඇතුළත් කරන්න.
- නිගමන හා යෝජනා
* මෙහි දී ඔබේ අධ්‍යයනය ඇසුරින් එළැඹි ප්‍රධාන නිගමන/ය හා ඒ ඇසුරින් ඉදිරිපත් කෙරෙන ප්‍රධාන යෝජනා/ව සඳහන් කරන්න.
- ආශ්‍රිත මූලාශ්‍රයාවලිය
* ඔබේ විස්තෘත සාරසංක්ෂේපය තුළ ඔබ භාවිත කළ මූලාශ්‍රය පමණක් මීට ඇතුළත් කළ යුතු අතර අවම වශයෙන් මූලාශ්‍රය 5ක් වත් මීට ඇතුළත් විය යුතු ය.
* පෙළ තුළ සටහන් කරන මූලාශ්‍රය මෙන් ම ආශ්‍රිත මූලාශ්‍රයාවලිය ද APA ක්‍රමයට සකස් කළ යුතු අතර APA ප්‍රකාශන මාර්ගෝපදේශ සංග්‍රහයෙහි හත් වැනි සංස්කරණයට අනුගත විය යුතු ය.
* APA ප්‍රකාශන මාර්ගෝපදේශ සංග්‍රහයෙහි හත් වැනි සංස්කරණයට අනුව මූලාශ්‍රය සටහන් කරන ආකාරය පිළිබඳ ව පැහැදිලි අවබෝධයක් ලබා ගැනීම සඳහා පහත සබැඳිය භාවිත කරන්න:
https://library-guides.ucl.ac.uk/APA/7th-edition
සැලකිය යුතුයි:
* සියලු ම විස්තෘත සාරසංක්ෂේප පර්යේෂණ සම්භාෂණයේ තේමාවට අදාළ විය යුතු අතර එසේ නොවන ඒවා සමීක්ෂණය සඳහා ඉදිරිපත් නො කර ප්‍රතික්ෂේප කෙරේ.
* විස්තෘත සාරසංක්ෂේප ඉදිරිපත් කිරීමේ දී උක්ත උපදෙස් සහ මාර්ගෝපදේශ පිළිපැදිය යුතු අතර එසේ නොකරන ලද විස්තෘත සාරසංක්ෂේප සංස්කාරක කමිටුව විසින් ප්‍රතික්ෂේප කෙරේ.
* ඔබ මෙවර පර්යේෂණ සම්භාෂණයට ඉදිරිපත් කරන විස්තෘත සාරසංක්ෂේපවලට අදාළ සම්පූර්ණ පර්යේෂණ පත්‍රිකා සම්භාෂණයෙන් අනතුරු ව සංවිධායක මණ්ඩලය වෙත භාර දිය හැකි අතර විමර්ශන කමිටු නිර්දේශ මත අනුමත පර්යේෂණ පත්‍රිකා සිංහල අධ්‍යයනාංශය මඟින් ලබන වසරේ සංවිධානය කෙරෙන පර්යේෂණ සම්භාෂණයට සමගාමී ව ප්‍රකාශයට පත් කෙරෙන ශාස්ත්‍රීය සංග්‍රහයට අන්තර්ගත කෙරේ.








